තිස්සමහාරාමයටත් වඩා පැරණි සදගිරිය……………..

මගේ බ්ලොග් එකේ ලියන්න හොද මාතෘකාවක් ගැන හිත හිත ඉන්න කොට මට හිතුණා මම මේ දවස්වල ඉන්න තිස්සමහාරාමය පැත්තෙන් ම වැඩේ පටන් ගත්තොත් හොදයි කියලා. මොකද තිස්ස කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ තිස්සමහාරාමේ විතරයි. ඒ වුනාට තවත් වැදගත් පුරාවස්තු රැසක් මේ නගරයේ හා ඒ අවට වැළලී තියෙනවා. අන්න ඒවා අතරින් තිස්සමහාරාම ස්තූපයට පිටුපසින්, මීටර් 200 ක පමණ දුරකින් පිහිටලා තියෙන සදගිරිය විහාර සංකීර්ණය ගැන පොඩියට කියන්න කියල යි මේ හදන්නේ. තිස්සමහාරාමයට සංචාරකයින් කොච්චර ආවත් ඒ අසල ම තියෙන සදගිරියට කාගෙවත් අවධානයක් යොමු වෙන්නේ නැහැ.

ඔයාලා අහලා ඇතිනේ පැරණි මාගම්පුර නගරය ගැන. මාගම්පුරය කියන්නේ ලංකාවේ දකුණු ප්‍ර‍දේශයේ පිහිටා තිබුණු, රෝහණ උප රාජධානියේ අගනුවරයි. රෝහණයෙන් පහළ වූ විශිෂ්ට පාලකයෙක් වූ දුටුගැමුණු රජතුමාගේ තරුණ කාලය ගෙවුනෙත් මෙන්න මේ මාගම්පුරයේ. තිස්සමහාරාමය කියන්නේ පැරණි මාගම්පුර රාජධානියේ ප්‍රධානම සිද්ධස්ථානයයි. නමුත් සදගිරිය රෝහණ රාජධානියේ ආරම්භක පාලකයා වූ මහානාග කුමරුන් විසින් ඉදි කරන්නට ඇති බවයි විශ්වාස කරන්නේ. ඒ අනුව තිස්සමහාරාමයටත් වඩා අතීතයක් සදගිරියට හිමිවෙනවා. අද වන විට මේ ස්තූපය තියන්නේ ප්‍රතිසංස්කරණය කරමින්. ඒ මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිස්සමහාරාම ව්‍යාපෘතිය මගින්.

සම්පූර්ණ විහාර සංකීර්ණය මතුකරගෙන නැතත් විහාරයට අයත් ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක් ම මේ වන විට කැණීම් මගින් පාදා සංරක්ෂණය කර අවසන්. ඒ පිළිමගෙය, ජන්තාඝරය, බෝධිඝරය යන ඒවා ය. මේ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම් සියල්ලක්ම සදගිරිය පැත්තේ ගියොත් ඔබට දැක ගැනීමට බාධාවක් නෑ.

ස්තූපය අසල ම තමයි බෝධිඝරය පිහිටා තියෙන්නේ. යුග කිහිපයකට අයත් ඉදිකිරීමේ ලක්ෂණ හා පැරණි බදාම කොටස් පවා එහි දැකිය හැකියි. ස්තූපය අසලින් ඇති ගුරු පාර දිගේ ඉදිරියට ගිය විට කෙළින්ම වැටෙන්නේ ප්‍රවේශ දොරටුවකින් හා සීමා ප්‍රාකාරයකින් සමන්විත අලංකාර ගොඩනැගිල්ලක් වන පිළිමගෙයට. ජන්තාඝරයට යන්න නම් වෙන්නේ අනුන්ගේ වතු හරහා. මීට අමතරව තවත් ගොඩනැගිලි රැසක් මේ අවට විසිර තිබෙනවා. එහෙත් ඒවා තවමත් ඇත්තේ පසින් යටවෙලා. මේ ගොඩනැගිලි සම්බන්ධ කරමින් අතීතයේ දී මාර්ග පද්දතියක් විහිදී තියෙන්නට ඇති. නමුත් මේවා සොයා ගන්නට කැණීම් සිදු කළ යුතුව පවතිනවා. මේ ප්‍රදේශය දැඩි ලෙස ජනාවාසකරණය වී තිබීම නිසා පැරණි මාගම නගරය හා පූජා නගරයට අයත් මෙවැනි සාධක යළි මතු කිරීමට දීර්ඝ කාලයක් ගතවෙනු ඇතැයි සිතිය හැකිය. තිස්ස නගරය යට පවා පැරණි පූජා නගරයේ නටබුන් විසිර පවතී. තිස්ස නගරය මධ්‍යයෙන් අනාවරණය කරගත් පොහොයගෙය මේ සදහා නිදසුනකි.

දන්න කියන දේවල් ගැන තවත් තොරතුරු ඉදිරිපත් කරමින්, ඉස්සරහට මීට වඩා හොදට මේ වැඩේ කරන්නයි කල්පනාව………..

පසුව හමුවෙමු………………….